හෙන්රි මුවර් (1898-1986)

  • හෙන්රි මුවර් (Henry Moore) 1898 දී එංගලන්තයේ යෝක්ෂයර් (Yorkshire) ප්‍රාන්තයේ කාසල් පෝර්ඩ් නුවර උපත ලැබී ය.
  • ග්‍රීක රෝම කලාවේ හා පුනරුද යුගයේ පැවති සාම්ප්‍රදායික මූර්ති නිර්මාණ වලින් පසුව නව ආරක මූර්ති කලාවක් ලොවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ හෙන්රි මුවර් ශිල්පියා ය.
  • හෙන්රි මුවර් එතෙක් පැවති දෘශ්‍ය තාත්වික භාවයට වෙනස් වූ වියුක්ත හැඩ මුර්ති ශිල්පයට අනුගත කළ ශිල්පියා වශයෙන් හැඳින්විය හැකි ය.
  • ඔහුගේ මානව මූර්ති නිර්මාණ ස්වභාවික පෙනුමෙන් හා ස්වභාවික පරිමාණයෙන් දුරස්වීම පැහැදිලි ලක්ෂණයකි.
  • මානව රූපයේ ශරීර හැඩ ඉතා සරල ව නිර්මාණය වීම විශේෂ ලක්ෂණයකි.
  • විශාල ප්‍රමාණ ශරීර සහිත වූ මානව රූපවල ඇති හිස කුඩාවට නිරූපණය කිරීම හෙන්රි මු වර්ගේ කෘතිවල දැකිය හැකි වූ ආවේණික ලක්ෂණයකි.
  • මුල්කාලීන කෘතීන්වල මිනිස් රුව පැහැදිලි ලෙස මූර්තිමත් කළ ද පසුව ක්‍රමයෙන් සරල වූ හැඩ වලට සීමා කරන ලද්දේ ය.
  • හෙන්රි මුවර්ගේ මූර්තිවල මූලික තේමාව වූයේ මානව රූපයයි. එවැනි මූර්ති අතර, පහත මූර්ති සුවිශේෂ ස්ථානයක් ගනී.
    • රජ පවුල
    • වැතිර සිටින රුව
  • ඔහුගේ නිර්මාණ බොහොමයක් උද්‍යාන මූර්ති වශයෙන් නිර්මාණය වී තිබේ.
  • විශාල ලෙස නිර්මාණය කරන මානව රූප මූර්තිමත් කිරීමේ දී කොටස් කිහිපයකින් යුතුව නිර්මාණය කර දක්වයි.
  • මූර්ති නිර්මාණ කිරීමේදී භාවිත අමුද්‍රව්‍ය වෙනස් කළ හෙන්රි මුවර් ඒ සඳහා දැව සහ ලෝකඩ, ආදි ද්‍රව්‍ය ආදේශ කරගන්නා ලදි. ඒවා අව්, වැසි, සුළං තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන මාධ වීම සුවිශේෂත්වයකි.
  • අමුද්‍රව්‍ය මෙන් ම මූර්ති මූලධර්ම හා ශිල්ප ක්‍රම ද වෙනස් කළ ශිල්පියෙකි.

රජ පවුල (King and Queen)

  • ස්වභාවික හා තාත්වික හැඩ දැනවීම වෙනුවට නිරූපණාත්මක සහ වියුක්ත හැඩ භාවිත කළ මුර්ති නිර්මාණයක් වශයෙන් රජ පවුල නැමති මූර්තිය හැඳින්විය හැකි ය.
  • මෙහි මානව හැඩ ස්වභාවික පෙනුමෙන් හා ස්වභාවික පරිමාණයෙන් දුරස්ව නිරූපණය කර තිබේ.
  • හිඳ සිටින ඉරියව්වෙන් නිර්මාණය කර ඇති මෙහි ස්ත්‍රී පුරුෂ හැඩ ඔහුට ම ආවේණික ශෛලියක් තුළ නිර්මාණය කර ඇත.
  • මානව රූප ඉතා සරලව හා කොටස් කිහිපයකින් යුතු ව නිර්මාණය කර ඇත.
  • විශාල ප්‍රමාණයේ ශරීරය සමඟ හිස කුඩාවට නිරූපණය කිරීම දැකිය හැකි ය.
  • සාම්ප්‍රදායික මූර්තිමය ද්‍රව්‍ය වෙනුවට වෙනත් මාධ්‍ය ලෙස ලෝකඩ භාවිත කරමින් කරන ලද නිර්මාණයකි.
  • ලෝකඩ මාධ්‍ය නිර්මාණයක් වන මෙය වාත්තු කිරීමේ ශිල්පක්‍රමය අනුව නිර්මාණය කරන ලද්දකි. මෙම මූර්තිය උද්‍යාන මූර්තියක් වශයෙන් නිර්මාණය කර ඇත.

වැතිර සිටින රූපය (Reclining Figure)

  • වැතිර සිටින ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම රූපය තුළින් වියුක්ත හැඩ දක්නට ලැබේ.
  • ස්වභාවික පෙනුමෙන් හා ස්වභාවික පරිමාණයෙන් දුරස් වූ හැඩ භාවිත කිරීම හෙන්රි මුවර්ගේ මූර්තිවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
  • මාධ්‍ය හා මූර්ති නිර්මාණය කිරීමේ මූලධර්ම වෙනස් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය හැඳින්විය හැකි ය.
  • දිගටි හෝ විවර සහිත හැඩ රිද්මයානුකූල ව හා සමබර ව අවකාශය සමඟ භාවිත කර ඇත.
  • ලෝකඩ මාධ්‍යයෙන් හා ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය අනුව නිර්මාණය කරන ලද නිර්මාණයකි.
  • ඉදිරියට නෙරා ගිය හා ඇතුළට නෙරා ගිය කොටස් සහිත විස්තරාත්මක බවෙන් අඩු සරල හැඩ මෙහි දැකිය හැකි ය.
  • මානව ශරීරයේ හැඩ සරල ව නිරූපණය කිරීම හා එම ශරීර හැඩවලට සාපේක්ෂව හිස කුඩාවට නිරූපණය කිරීමේ විශේෂ ලක්ෂණ මෙහි දැකිය හැකිය.