• විශිෂ්ට කලාගාරයක් බඳු සීගිරිය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඉතාමලු කෝරලයේ පිහිටා ඇත.
  • අනුරාධපුර යුගයේ ක්‍රි.ව.5 වන සියවසට අයත් සීගිරිය, ධාතුසේන රජුගේ දෙටු පුත්‍රයා වන කාශ්‍යප රජුගේ නිර්මාණයක් වේ.
  • ශ්‍රී ලාංකේය චිත්‍ර කලා ඉතිහාසයේ සම්භාව්‍ය කලා සම්ප්‍රදායයක ලක්ෂණ සීගිරි චිත්‍ර මගින් පිළිබිඹු කෙරේ.
  • සිගිරිය ආසියාවේ ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් එකක් වන අතර අද මෙම ස්ථානය ලෝක උරුමයක් බවට ද පත්ව ඇත.
  • සීගිරි පරිශ්‍රයේ ගොඩනගා ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ අංග අතර ආරුක්කු, පියගැට පෙළ හා දිය අගල්, පොකුණු ආදියෙන් සැකසුණු ශිලාමය උද්‍යාන සුවිශේෂ වේ.
  • සීගිරි පර්වතය පාමුල සිංහ පාදය, කැටපත් පවුර හා පර්වතය මුදුනේ රජ මාලිගා නටබුන් වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වේ.

සිගිරි චිත්‍ර

  • සිගිරි චිත්‍ර ලෙස වඩාත් ප්‍රචලිත ව ඇත්තේ පර්වතයේ බටහිර පස කෙවෙනි වල ඇති ස්ත්‍රී රූප ය.
  • සීගිරියේ කාන්තා රූප පන්සියයක් පමණ චිත්‍රණය කර තිබුණු බව සීගිරි කුරුටු ගීවල සඳහන් වුවත් දැනට ඉතිරිව ඇත්තේ චිත්‍ර විසි දෙකක් පමණ ය. එයින් ද හොඳ තත්ත්වයෙන් දැකිය හැකිවන්නේ රූප කිහිපයකි.
  • මෙම රූප 22 සීගිරි පර්වතයේ බටහිර බෑවුමෙහි කෙවෙනියක (බෙයද) දැකිය හැකි අතර ඊට අමතරව පර්වත පාමුල ඇතැම් ලෙන් ආශ්‍රිතව ද මෙවැනි සිතුවම් ශේෂව ඇති බව දැකිය හැකි වේ.
  • චිත්‍ර ඇඳීමට පෙර ශිල්පියා විසින් සුදුසු පරිදි විසම මතු පිටක් සහිත ගල්තලය මත බදාම ආලේප කර එම ස්ථරය මත චිත්‍ර ඇඳ ඇත.
  • ගල් තලය සුමට කර ගැනීමට යොදා ගත් බදාමය සඳහා පිදුරු, දහයියා, මැටි, ශාක පත්‍ර කෙඳි. ශාක මැලියම්, හුණු ආදිය යොදා සකස් කරගෙන ඇත.
  • බදාම වියළීමට පෙර චිත්‍ර ඇඳ ඇති බව මෙතෙක් පැවති පිළිගත් මතය යි. එම ශිල්ප ක්‍රමය ප්‍රෙස්කෝ හෙවත් ප්‍රෙස්කෝ බුවනෝ ලෙස හඳුන්වයි. ඇතැම් විද්වතුන්ට අනුව මෙම චිත්‍ර වියළි හුණු බදාමයක් මත ඇඳ ඇති බව දැක් වේ.
  • සීගිරි චිත්‍ර ශ්‍රී ලාංකේය සම්භාව්‍ය කලා සම්ප්‍රදායකට අයත් ලෙස සැලකේ.
  • ඉන්දියාවේ අජන්තා චිත්‍රවල දක්නට ඇති භාවමය හා රූපමය ලක්ෂණ මෙම චිත්‍ර වල දක්නට ඇති බව විද්වත් අදහසයි. බොහෝ විට අජන්තා අප්සරා රූප වලට සමාන ලෙස අඳුරු පැහැ සහ ආලෝකමත් පැහැ ස්ත්‍රී රූප යොදා තිබීම අලංකාර වස්ත්‍රාභරණ හා මල් වලින් සැරසි සිටීම වැනි ලක්ෂණ හේතු සාධක ලෙස පෙන්වා දෙයි.
ප්‍රෙස්කෝ (බුවනෝ)
තෙත හුණු බදාමය මත ඛණිජ වලින් තනා ගන්නා ලද වර්ණ වලින් ඇඳීමේ ක්‍රමය
ප්‍රෙස්කෝ සිකෝ
වියළි හුණු බදාමය මත ඛණිජ වලින් තනා ගන්නා ලද වර්ණ වලින් ඇඳීමේ ක්‍රමය
ටෙම්පරා
වියළි බදාමය මත බන්දන මාධ්‍යයක් (මැලියම්) සමඟ මිශ්‍ර කර ගන්නා ලද වර්ණ වලින් ඇඳීමේ ක්‍රමය

සීගිරි චිත්‍රවල කලා ලක්ෂණ

  • කාන්තා උඩුකය රූප පමණක් නිරූපණය කිරීම
  • එම රූප එකිනෙකට වෙනස් අනන්‍යතා ලක්ෂණ සහිත ව නිරූපණය කිරීම
  • කාන්තා රූප සම්පිණ්ඩනය කිරීමේ දී යුගල හා කේවල රූප වශයෙන් දැක්වීම
  • සෑම කාන්තා රූපයක් ම පහළ කොටස වලාකුළු වලින් ආවරණය වූ ස්වභාවයක් දැක්වීම
  • සෘජුව ඉදිරිය බලා නොසිටීමත්, සම්පූර්ණයෙන් ම හෝ මඳක් හැරි සිටින ස්වභාවයෙන් යුතු ව දැක්වීම
  • බොහෝ කාන්තා රූප මල් වට්ටි, මල් පොකුරු අතින් දරා සිටින අයුරු නිරූපණය කර තිබීම
  • අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටින ඔවුන්ගේ දත් මත මෙන් ම හිස සැරසීම සඳහා තෙළුම අරලිය, මානෙල් වැනි මල් වර්ග උපයෝගී කර ගෙන තිබීම
  • වර්ණ ගැන්වීම සඳහා කහ, ගුරු, රතු, කොළ, නිල්, කළු ආදී වර්ණ යොදා ගැනීම
  • සුළු වශයෙන් වර්ණ ප්‍රභේද භාවිත කරමින් ත්‍රිමාන ලක්ෂණ දැක්වීමට ද උත්සාහ දරා තිබීම
  • සිරුර වර්ණ ගැන්වීම සඳහා කහ, රතු වර්ණ යෙදූ අතර අඳුරුවන් කාන්තාවන් දැක්වීමේ දී නිලට හුරු අඳුරු කොළ පැහැයක් යොදා ගැනීම
  • රූප වටා රිද්මයානුකූල ප්‍රාණ පූර්ණ රේඛාකරණය
  • විවිධ ශක්තීන් සමග ත්‍රිමානත්වය (ඝනත්වය) හා චලනය දක්වන රේඛාකරණය

සීගිරි චිත්‍ර පිළිබඳ විද්වත් මතවාද

මහාචාර්ය සෙනරත් පරණවිතාන
සීගිරිය කුවේරයාගේ ආලකමන්දාව නිරූපණය කරන බවත් මෙම රූපවලින් කුවේරයාගේ දියණියන් වන මේඝලතා හා විජ්ජුලතා (වලාකුළු සහ විදුලිය) සංකේතවත් වන බවත් ප්‍රකාශ කරන අතර නිල්වන් ස්ත්‍රීන්ගෙන් මේඝලතා (වලාකුළු) හා රන්වන් ස්ත්‍රීන්ගෙන් විජ්ජුලතා (විදුලිය) නිරූපණය කරන බවත් පෙන්වා දෙයි. සීගිරිය හා සීගිරි චිත්‍ර පිළිබඳ වඩාත් පිළිගත් හා ජනප්‍රිය මතවාදය වන්නේ මෙයයි.
එච්. සී. පී. බෙල්
කාශ්‍යප රජුගේ රජ මාළිගාවට සම්බන්ධ බිසෝවරුන් හා සේවිකාවන් මින් නිරූපණය වන බවත්, රාජකීය කතුන් රන්වන් පැහැයෙන් හා පරිවාරිකාවන් නිල්වන් වර්ණයෙන් දක්වා ඇති බවත් පවසයි. එසේ ම ඔවුන් මල් අතින් දරා සිටින්නේ පිදුරංගල විහාරය වැඳීමට යෑමට සුදානම් ව සිටින නිසා බවත් ඔහු පෙන්වා දෙයි.
ආනන්ද කුමරස්වාමි
මෙම කාන්තා රූප අප්සරාවන් බව පවසන ඔහු ඊට හේතු වශයෙන් දක්වා සිටින්නේ මෙම සියලු ම කාන්තාවන් ඉනෙන් පහළ වළාකුළු වලින් වැසී ඇති අයුරින් හා ඔවුන් අත මල් දරා සිටින අයුරින් නි. රූපණය කිරීමත් යන කරුණු පදනම් කරගෙන ය.