ස්ටැන්ලි අබේසිංහ (1914 - 1992)

  • 1914 දී උපත ලැබූ ස්ටැන්ලි අබේසිංහ විසිවන සියවසේ නූතන කලා ඉතිහාසයේ මුල් කාලීන ව බිහි වු ප්‍රතිභා පූර්ණ චිත්‍ර ශිල්පියෙකි.
  • ලංකා කාර්මික විද්‍යාලයේ චිත්‍ර කලාව හැදෑරූ ඔහු ඉන්දියාවට ගොස් පෙරදිග චිත්‍ර කලාව හා එංගලන්තයේ දී යුරෝපීය නූතන චිත්‍ර කලාව අධ්‍යයනය කරනු ලබයි.
  • පෙරදිග හා අපරදිග විවිධ කලා ආභාස ඇසුරින් තමන්ට ආවේණික නව චිත්‍ර කලා සම්ප්‍රදායයක් ඇති කිරීමට මූලික වූ පෙරටුගාමී ශිල්පියෙකි.
  • රජයේ ලලිත කලායතනයේ ගුරුවරයකු ලෙස ද, 1965-1969 කාලය තුළ එහි කලායතනාධිපති ලෙස ද කටයුතු කර ඇත.
  • එම කාලය තුළ 43 කණ්ඩායමේ නූතනවාදී ප්‍රකාශනයට සමගාමී ව නූතනවාදී කලා භාවිතය සහිත නව කලා ප්‍රවණතාවක් රජයේ ලලිත කලා ආයතනයේ ගොඩනැගීමට මූලික වූ පුරෝගාමියා ලෙස ද සැලකේ.
  • ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ, පශ්චාත් උපස්ථිතිවාදී හා ප්‍රකාශනවාදී චිත්‍ර කලා ප්‍රවණතාවේ වර්ණ භාවිතය ආභාසය වී ඇත.
  • නිර්මාණවල පසුබිම සඳහා ඝනිකවාදී කලාවේ පසුබිම් අවකාශ ලක්ෂණ ආහාස කර තිබීම දැකිය හැකි වේ.
  • කෙටි, ඝන රේඛා භාවිතයද ඔහුගේ නිර්මාණවල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වේ.
  • ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා විසින් කරන ලද නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
    • වළං කඩේ/ කුඹල් හල
    • ඇසළ පෙරහැර
    • භාවනාව
    • බාල තරුණ (Young and Infant)
    • ලක්ෂ්මිගේ උපත

කුඹල් හල

  • ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද කුඹල් හල නැමති සිතුවම ඔහුගේ නූතනවාදී කලා භාවිතයේ සුවිශේෂ නිර්මාණයක් වේ.
  • මැටි භාජන විකුණුම් හලක් හා යුවලක් මින් නිරූපිත ය.
  • පර්යාලෝක ලක්ෂණ රහිත අවකාශයක් භාවිත වීම මෙම නිර්මාණයේ කැපීපෙනෙන ලක්ෂණයකි. මෙම සම්පිණ්ඩනයේ පෙරබිම හා පසුබිම එකම තලයක නිරූපිත ය.
  • චිත්‍රයේ ගැඹුර හා ත්‍රිමානත්වය පෙන්වන්නේ ස්වභාව ධර්මයට සාපේක්ෂව නොව යොදන ලද වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමයෙනි.
  • අඳුරු හා ආලෝකමත් වර්ණ විසංගත ව යෙදවීමෙන් මිනිස් හැඟීම් වඩා තීව්‍ර ලෙස දැක්වීමට ශිල්පියා සමත්ව ඇත.
  • චිත්‍රයේ ප්‍රකාශනාත්මක බව තීව්‍ර කිරීම සඳහා යොදන වර්ණ පදාස, සියුම් ලෙස විස්තරාත්මක දැක්වීම හා ප්‍රාණවත් කෙටි, ඝනකමින් යුතු කළු රේඛා භාවිත කර තිබීම හඳුනාගත හැකි ය.
  • මුහුණේ හැඟීම් නිරූපණය සඳහා යොදාගත් අඳුරු වර්ණ, නිර්මාණයේ භාව ප්‍රකාශනය මැනැවින් සංවිධානය කිරීමට ඉවහල් ව ඇත.
  • ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ නිර්මාණ ශෛලිය සඳහා සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ, පශ්චාත් උපස්ථිතිවාදී හා ප්‍රකාශනවාදී චිත්‍ර කලා ප්‍රවණතාවේ වර්ණ භාවිතය මෙන්ම ඝනිකවාදී කලාවේ පසුබිම් අවකාශ ලක්ෂණ ආහාස කර තිබීම දැකිය හැකි වේ.

පෙරහැර

  • ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ නූතනවාදී කලා භාවිතය සහිත නිර්මාණ අතර පෙරහැර නමැති සිතුවම විශිෂ්ට නිර්මාණයකි.
  • මහනුවර ඇසළ පෙරහැර වස්තු විෂය කර ගනිමින් අඳින ලද මෙම නිර්මාණය සඳහා අඳුර හා ආලෝකය විසංගත වර්ණ තුළින් චිත්‍රයේ චමත්කාරය නව මුහුණුවරකින් පිළිබිඹු කර ඇත.
  • අඳුරු හා ආලෝකමත් වර්ණ සාර්ථකව යොදාගනිමින් රාත්‍රී කාලය නිරූපණය කිරීමට ගත් උත්සාහය චිත්‍රය වඩාත් අර්ථවත් කරයි.
  • රාත්‍රි කාලය නිරූපණය සඳහා යොදා ගැනුණු අඳුරු හා ආලෝක තත්ත්වය, වර්ණ පදාස මගින් දක්වමින් පෙරහැරේ උත්සවශ්‍රීය ස්වභාවය විස්තරාත්මක ව දක්වා ඇත.
  • රේඛාකරණයට වඩා වර්ණ මාධ්‍ය හැසිරවීමෙන් රූපක මතු කර ඇත. රූප භාවිතයේ දී තේමාවේ වැදගත්ම අංගය වන දළදා කරඬුව සහිත ඇතා චිත්‍රයේ මධ්‍යගත ව දක්වා ඇත.
  • පෙරබිම පසුබිම නොසලකා එකම තලයක රූප සම්පිණ්ඩනය කළ ද වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමය අනුව පෙරබිම, මැදබිම, පසුබිම මැනැවින් සංවිධානගත ව ස්ථානගත කොට චිත්‍රයේ ගැඹුර දැක්වීමට ශිල්පියා මනාව සමත්ව ඇත.
  • ඒ සඳහා ඝනිකවාදී කලාවේ පසුබිම් අවකාශ ලක්ෂණ යොදා ගැනුන අතර ශෛලිගත හැඩ.
  • පශ්චාත් උපස්ථිතිවාදී හා ප්‍රකාශනවාදී චිත්‍ර කලා ප්‍රවණතාවේ වර්ණ භාවිතය ආභාස කර තිබීම දැකිය හැකි වේ.