කේ. කනකසබාපති (1915-1995)
- කේ. කනකසබාපති විසිවන සියවසට අයත් ශ්‍රී ලාංකේය නූතන චිත්‍ර කලාවේ පුරෝගාමී ව කටයුතු කළ දමිළ ජාතික චිත්‍ර ශිල්පියෙකි.
- වර්ෂ 1915 දී යාපනය උරුම්පිරායි හි උපත ලද කනකසබාපති පළමුව පලාලි ගුරු විද්‍යාලයෙන් චිත්‍ර කලාව පිළිබඳ ශාස්ත්‍රිය අධ්‍යාපනය ලබා ගන්නා ලදී.
- මොහු පලාලි ගුරු පුහුණු විද්‍යාලයෙහි චිත්‍ර කලා ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
- චිත්‍ර කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වින්සර් චිත්‍ර කලා ආයතනයේ සාමාජිකත්වය ලබා ගන්නා ඔහු අනතුරු ව කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුළත් ව චිත්‍ර කලාව හදාරනු ලබයි.
- ඔහුගේ මුල්කාලීන චිත්‍ර ශෛලියට ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාවේ යථාර්ථවාදී කලා ලක්ෂණ එක්ව තිබුණ ද පසුකාලීන ව ඔහුගේ නිර්මාණ ඝනිකවාදී කලා ආභාසයන්ගෙන් පෝෂණය විය.
- ඝනිකවාදී කලා ලක්ෂණ සහිතව තමාට ආවේණික චිත්‍ර ශෛලියක් ගොඩනගා ගත් කේ. කනකසබාපති, 43 කණ්ඩායමේ චිත්‍ර ප්‍රදර්ශන වලට ද සහභාගි වූ චිත්‍ර ශිල්පියෙක් වේ.
- කේ. කනකසබාපති විසින් නිම කරන ලද විශිෂ්ට නිර්මාණ අතර කියවන ළමයා, කුකුල් පොරය. විවේක ගැනීම, භූමි දර්ශන (landscapes) සිතුවම් සුවිශේෂ වේ.
කියවන ළමයා
- කේ. කනකසබාපති විසින් නිර්මාණය කරන ලද කියවන ළමයා නමැති සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණකි.
- ශෛලිගත ලක්ෂණ හා ඝනිකවාදී කලා ශෛලීය ලක්ෂණ වල ආභාස සහිත නිර්මාණයක් වේ.
- ඝනිකවාදී කලාවේ ලක්ෂණ අනුව චිත්‍රයේ පසුබිම රේඛා සටහන් සහිත තලයක් ලෙස පෙන්වයි.
- එකිනෙක වෙනස් හැඩ සහ විවිධ දිශානතින් සහිත රේඛා ඒක වර්ණික පසුබිමක් මත සංවිධානය කර ඇත.
- චිත්‍රයේ ගැඹුර හා ත්‍රිමානත්වය පෙන්වන්නේ යොදන ලද රේඛා හා වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමයෙනි. එමගින් චිත්‍රයේ අවකාශීය ගැඹුර දැක්වේ.
- චිත්‍රයේ ප්‍රධාන රූපයට වඩා පසුබිම ඝනිකවාදි කලා ආභාසය සහිතව ඛණ්ඩනයට ලක්කර ඇත.
- සිතුවමේ දැක්වෙන ළමයා බොහෝ සෙයින් ශෛලිගත හැඩ සහිතව නිරූපණය කෙරේ.
- චිත්‍රයට බහුල වශයෙන් යොදා ඇති වර්ණය කොළ වර්ණය වන අතර එහි ප්‍රභේද සමග දුඹුරු වර්ණ භාවිතය හඳුනාගත හැකි ය.
- ඝන/ගැඹුරු රේඛා කරණය හා වර්ණ භාවිතය මැනවින් යොදාගෙන ඇති අතර එමගින් මාතෘකාව වඩා තීව්‍ර ව හා සංවේදී ව දැනවීමට උත්සාහ ගෙන ඇත.
කුකුල් පොරය
- කේ. කනකසබාපති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවම සඳහා වස්තු විෂය වී ඇත්තේ කුකුල් පොරයකි.
- තෙල් සායම් මාධ්‍ය භාවිතකෙට කැන්වසය මත කරන ලද ඝනිකවාදී ශෛලිය දැක්වෙන නිර්මාණයකි. කුකුළන් නිරූපණය සඳහා ද්විමාන හැඩතල භාවිත වුවද ත්‍රිමාන ලක්ෂණ මතු වන සේ වර්ණ ගන්වා ඇත.
- චිත්‍රයේ රූප වටා හා පසුබිම මත යොදා ඇති ඝන රේඛාවල ස්වභාවය අනුව කුකුල් පොරයේ වේගය හා රිද්මය මතු කර පෙන්වයි. එම ලක්ෂණ චිත්‍රයේ ප්‍රකාශනය වඩා තීව්‍ර කිරීමට උපකාරි වෙයි.
- ඝනිකවාදී කලාවේ ලක්ෂණ ආභාසය කර ගනිමින් සත්ත්ව රූප සහ පසුබිම සම්පිණ්ඩනය කර ඇත.
- දුඹුරු වර්ණය ප්‍රමුඛව ඒක වර්ණ ස්වභාවය මතු වන ලෙස මෙම නිර්මාණයේ වර්ණ භාවිත කර ඇත.
- සිතුවම මධ්‍යයේ කුකුළන් නිරූපණය කිරීමට භාවිත කළ රේඛා හා හැඩ තල වලට සමාන හැඩතල සහ රේඛා, පසුබිමට යොදා ගැනීමෙන් පෙරබිම හා පසුබිම එකම තලයක සම්පිණ්ඩනය වූ බවක් දෘශ්‍යමාන වේ.