තිස්ස රණසිංහ (1925)

  • විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ නූතන මූර්ති කලාවේ නව ශෛලියක් බිහි කිරීමට පුරෝගාමි වූ විශිෂ්ට නිර්මාණ ශිල්පියා ලෙස තිස්ස රණසිංහ හැඳින්විය හැකි ය.
  • දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද සම්මානනීයත්වයට පත් තිස්ස රණසිංහ වර්ෂ 1925 දී මීගමුව යෝගියාන නැමැති ප්‍රදේශයේ උපත ලැබීය.
  • මරදාන කාර්මික විදුහලේ ජේ. ඩී. ඒ. පෙරේරා යටතේ චිත්‍ර කලාව හදාරන ලද තිස්ස රණසිංහ එංගලන්තයට ගොස් චෙල්සි කලා පාසලේ (Chelsea School of Art) හා රාජකීය කලා පාසලේ (Royal College of Art) මූර්ති ශිල්පය හදාරනු ලැබී ය.
  • එම කලා පාසල්වල අධ්‍යාපනයෙන් හා යුරෝපීය නූතන කලා නිර්මාණයන්ගේ ආභාසය ලබමින් තිස්ස රණසිංහ විසින් තමාටම ආවේණික මූර්ති නිර්මාණ ශෛලියක් ගොඩනගා ගනු ලැබී ය.
  • මූර්ති නිර්මාණ ශෛලියේ නිරන්තරව දැකිය හැකි ස්වභාවික හැඩයන්ට වෙනස් වූ වියුක්තවාදි හැඩයන්ගෙන් සංකලනය වූ හැඩ ඔහුගේ නිර්මාණ සඳහා පාදක විය.
  • ශ්‍රී ලාංකේය නූතන මූර්ති ශිල්පයට ලෝකඩ මාධ්‍ය හා වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය හඳුන්වා දුන්නේ ඔහු ය.
  • ශ්‍රී ලාංකික මූර්ති ශිල්පියකු ලැබූ උසස් ම ජාත්‍යන්තර සම්මානය 1963 දී බ්‍රසීලයේ පැවැත් වූ සවෝපාව්ලෝ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ විපාක හෙවත් "පව් සමාව" (Penance) නැමැති ලෝහමය මූර්තියට හිමි විය.
  • තිස්ස රණසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා වස්තු වූ විවිධ විෂය ක්ෂේත්‍ර මෙසේ දැක්විය හැකි ය.
    • ප්‍රභූන්ගේ පුද්ගල රූප / විද්ව රූප (ආලේඛ්‍ය) මූර්ති - පරණ විතාන පිළිරුව
    • ආගමික සංකල්ප නිරූපිත මුර්ති (බෞද්ධ හා හින්දු)
      • දුෂ්කර ක්‍රියාව මුර්තිය, පව් සමාව හෙවත් විපාක, ගනේෂ
      • ඓතිහාසිකත්වය නිරූපිත නිර්මාණ
      • කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත නිර්මාණය
  • තිස්ස රණසිංහ ශිල් පියාගේ නිර්මාණ ශෛලිය ශ්‍රී ලාංකේය නූතනවාදී මූර්ති කලාවේ ප්‍රවේශය ස්ථාපනය කළ අතර එම ශෛලීය වර්තමාන මූර්ති ශිල්පීන්ගේ ඇතැම් නිර්මාණ සඳහා බලපා ඇති බව පෙනේ.

දුෂ්කර ක්‍රියාව මූර්තිය

  • දුෂ්කර ක්‍රියාව නැමැති මෙම මූර්තිය තිස්ස රණසිංහ ශිල්පියාගේ අති විශිෂ්ට නිර්මාණයක් ලෙසින් පිළිගැනීමට ලක්ව ඇත.
  • සිදුහත් බෝසතුන්ගේ දුෂ්කර ක්‍රියාව පිළිබිඹු කරන මෙම මූර්තියෙන් එම අදහස නිරූපණය කිරීම සඳහා දිය වී ගිය හා වියැකුණු මාංශමය කොටස් සහිත අස්ථිමය සැකැස්ම මැනැවින් දක්වා ඇත.
  • ස්වාභාවිකවාදී ව මිනිස් ස්වරූපයක බාහිර හා කායික ව්‍යුහයට වඩා අභ්‍යන්තර හැඟීම් නිරූපණය කළ හැකි යථාර්ථවාදී ශෛලියක් සහිත හැඩතල මෙම මූර්තියෙන් නිරූපණය කරයි.
  • අක්ෂිගෝචර ස්වභාවිකවාදී කලා භාවිතය මෙම මූර්තිය සඳහා භාවිතයට ගෙන නැත.
  • මෙම නිර්මාණය සඳහා වියුක්තවාදි කලා ආභාසයන් දැකිය හැකි ය.
  • මෙම නිර්මාණයේ හැඩ අර්ධ වියුක්තවාදී (Semi - Abstract) හැඩ හා අර්ධ නිරූපණාත්මක හැඩයන්ගෙන් සංකලනය වී ඇති බව විචාරක අදහස වේ.
  • නූතන කලා භාවිතයන් දැක්වෙන මෙම නිර්මාණය ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද්දකි.

කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත නිර්මාණය

  • කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ නිර්මාණය කර ඇති මෙම නිර්මාණය නූතන මුර්ති කලාවේ නව මානයක් ඇති කළ නිර්මාණයකි.
  • ටෙරා කොටා මාධ්‍ය භාවිතයෙන් උන්නතව නිර්මාණය කර ඇති මෙම නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ ලාංකේය නාට්‍ය කලා ඉතිහාසය යි.
  • නාට්‍ය කලා ඉතිහාසයට අයත් අවස්ථා මෙහි එකට සංකලනය කර නිරූපණය කෙරේ.
  • මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් ඝනිකවාදී කලා ලක්ෂණ ලැබී ඇතැයි විචාරක මතයයි.
  • ඝනිකවාදී වියුක්ත හැඩ තල වලට අමතරව ශෛලිගත හැඩ මෙම නිර්මාණය සඳහා පාදක කරගෙන ඇත.
  • මෙම ටෙරාකොටා නිර්මාණය සඳහා යොදාගෙන ඇති වර්ණ, නිර්මාණයේ අලංකරණය මෙන්ම ප්‍රකාශන ගුණය තීව්‍ර කිරීමට උපයෝගී වී ඇත.