එච්. ඒ. කරුණාරත්න (1929)

  • එච්. ඒ. කරුණාරත්න මහතා ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර කලාවේ නව සම්ප්‍රදායක් වන වියුක්ත කලා සම්ප්‍රදාය බිහි කිරීමට පුරෝගාමි වූ විශිෂ්ට නිර්මාණ ශිල්පියා ලෙස හැඳින්විය හැකි ය.
  • දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද සම්මානනීයත්වයට පත් එච්. ඒ කරුණාරත්නයන් වර්ෂ 1929 ඛණ්ඩාරගම ප්‍රදේශයේ දී උපත ලැබීය.
  • 1952 රජයේ ලලිත කලා ආයතනයේ චිත්‍ර කලාව හදාරණ ලද එච්. ඒ කරුණාරත්න මහතා පසුකාලීන ව එහි කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත.
  • ඔහුගේ නිර්මාණ කරණ ක්‍රියාවලිය සඳහා ජපන් හා ඇමරිකානු චිත්‍ර කලා අධ්‍යාපනයෙන් ලද පාඩම් මහත් ආභාසයක් වී ඇත.
  • ශ්‍රී ලංකාවේ නූතන කලාවේ නිරූපණාත්මක සංරචනය වෙනුවට ඇමරිකානු වියුක්ත ප්‍රකාශනවාදී (Abstract Expressionism) චිත්‍ර ශෛලියට අනුගත වූ වියුක්ත චිත්‍ර කලා භාෂාවක් ස්ථාපිත කරන ලදී.
  • ඔහුගේ නිර්මාණශීලි චිත්‍ර ශෛලියෙහි මධ්‍යගත සංරචනයක් නොමැති අතර තලය පුරා හැඩතල විසුරුවා හරින සංරචනයක් පෙන්වයි.
  • එච්. ඒ. කරුණාරත්නයන් පසුකාලීන සිය නිර්මාණ සඳහා තේමාවක් සපයන්නේ නැත. එමගින් ඔහු, නරඹන්නාට සිතීමට අවස්ථාව දී තිබේ.
  • ඔහුගේ නිර්මාණයන්ගෙන් ආගමික හැඟීම් සහිත වූ ශාන්ත රසයක් ජනිත කරවන බව කලා විචාරක මතයයි.
  • මුල් කාලීන ව තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත චිත්‍ර සංරචනය කළ ඔහු පසුකාලීන ව එකිනෙක වෙනස් මාධ්‍ය භාවිත කරන ලදී.
  • සිය නිර්මාණයන්ගේ ත්‍රිමාන බව තීව්‍ර කිරීමට ඇණ, කාඩ්බෝඩ් නූල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් උත්සාහ කර ඇත. එමගින් නිර්මාණයේ එකිනෙක විරුද්ධ මතුපිට ස්වභාවයන්ගෙන් (texture) විවිධ රසයන් ජනිත කරයි.
  • ඔහුගේ නිර්මාණ අතර දැකිය හැකි සුවිශේෂ නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
    1. මුල්කාලීන නිර්මාණ කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණ:
      • සඳපායා
      • චන්ද්‍රකාන්ත පාෂාණය
      • මල් සුවඳ
      • සුදු වලාකුළු
      • මහලෙක සුවඳ
      • අස්වැන්න
    2. පසුකාලීන නිර්මාණ:
      • විවිධ මාධ්‍ය භාවිතයෙන් සිදුකරන ලද නිර්මාණ (Assemblage Art)

සඳපායා

  • එච්. ඒ. කරුණාරත්න ශිල්පියා විසින් 1980 දශකය තුළ නිර්මාණය කරන ලද මෙම සිතුවම "සඳපායා" නම් වේ.
  • තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත කරන ලද මෙම සිතුවම ඔහුගේ මුල් කාලීන නිර්මාණයකි.
  • මෙම සිතුවමේ මධ්‍යගත සංරචනයක් දක්නට නොමැති අතර, තලය පුරා හැඩතල විසුරුවා හරින සංරචනයක් පෙන්වයි.
  • වියුක්ත ප්‍රකාශනවාදී කලා ලක්ෂණ ඔහුගේ මෙම නිර්මාණය සඳහා පදනම් වී ඇත.
  • ස්වභාව ධර්මයේ නිශ්චිත අවස්ථාවක් චිත්‍රයේ ප්‍රකාශනය සඳහා වස්තු විෂය කර ගැනීම මින් පෙන්වයි.
  • වියුක්ත ප්‍රකාශනවාදී කලා ලක්ෂණ අනුව පවතින රූපිත සැලැස්මේ සැබෑ ස්වරූපයෙන් නොපෙන්වීම හා අභ්‍යන්තර හැඟීම් අනුව ස්වභාවය නිරූපණය කිරීම මෙයින් දක්වයි.
  • අහසේ පායන ලද සඳ හා එම සඳ කිරණ වැටුණු ගස්වල චමත්කාරජනක හැඟීම මතු කිරීම සඳහා නිර්මාණයේ දීප්තිමත් මුහුන් වර්ණ, රේඛා හා හැඩතල භාවිත කර ඇත.
  • මෙම නිර්මාණයෙන් ආගමික හැගීම සහිත වූ ශාන්ත රසයක් ජනිත කරවන බව කලා විචාරක මතයයි.

"නම් නොකළ" Untitled

  • එච්. ඒ. කරුණාරත්න ශිල්පියා විසින් මෑත කාලයේ දී එනම් 2011 වසරේ දී නිර්මාණය කරන ලද මෙම නිර්මාණය "නම් නොකළ" නමින් හැඳින් වේ.
  • මෙය මූර්තිමය ලක්ෂණ දකිය හැකි එකලස් කිරීමේ ශිල්ප ක්‍රමය අනුව කරන ලද නිර්මාණයකි.
  • මෙම නිර්මාණය කිරීම සඳහා තහඩු, කම්බි, ඇණ යනාදි මිශ්‍ර මාධ්‍ය භාවිත කර ඇත.
  • මේ සඳහා ඝන හා රළු අමුද්‍රව්‍ය නිරූපණාත්මක අරමුණක් වෙනුවෙන් භාවිත කර තිබීම මෙ නිර්මාණයේ ඇති සුවිශේෂ ලක්ෂණයකි.
  • මෙම නිර්මාණය සඳහා විස්තරාත්මක බවින් අඩු, එසේ ම යෝගී ඉරියව්වක දැකිය හැකි මූලික ලක්ෂණ සහිත හැඩතල අනුව කළ නිර්මාණයක් වශයෙන් සැලකිය හැකි ය.
  • සරල බව හා සංකේතාත්මක බව නිර්මාණාත්මක ව ඉදිරිපත් කළ කෘතියකි.
  • සංස්ලේෂණාත්මක ඝනිකවාදය හා එක්කාසු කලාවේ ආහාස ලක්ෂණ මෙම නිර්මාණය ආශ්‍රිත ව දැකිය හැකි වේ.