• ඈත අතීතයේ සිට ශ්‍රී ලාංකික ජනතාව ශාන්ති කර්ම පැවැත්වීම සාම්ප්‍රදායිකව සිදු කර ඇත. ජනතාව තුළ පවත්නා විවිධ වූ ඇදහිලි හා විශ්වාස පදනම් කර ගෙන ශාන්ති කර්ම පවත්වනු ලැබේ. මෙහි දී ලෙඩ රෝග සුව කිරීම, සෞභාග්‍යය හා සශ්‍රීකත්වය ළඟා කර ගැනීම ආදී සුවිශේෂ කරුණු මුල් තැනක් ගනී.
  • ශ්‍රී ලංකාවේ විවිධ ජාතින් විසින් පවත්වනු ලබන ශාන්ති කර්මවල ආශ්‍රිතව භාවිත කරන දෘෂ්‍ය සැරසිලි අංග විවිධ වේ. සිංහල හා දෙමළ ජනයා අතර ප්‍රචලිත කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව, පහන්මඩු ශාන්ති කර්මය හා කුම්බාබිෂේකම් ශාන්ති කර්මය ආශ්‍රිත ප්‍රධාන දෘෂ්‍ය අංග පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

කොහොඹා කංකාරිය ශාන්ති කර්මය

ඉතිහාසය
උඩරට නර්තන සම්ප්‍රදායය සමග බැඳි ශාන්ති කර්මයකි. ප්‍රථම කොහොඹා කංකාරි ශාන්ති කර්මය කොහොඹා දෙවියන් මුල් කරගෙන අනුරාධපුර මහමෙවුනාවේ පැවැත්වූ බව රාජාවලියේ සඳහන් වේ. රෝග බිය දුරු කිරීම, සෞභාග්‍යය සශ්‍රීකත්වය ලැබීම පතා මෙම ශාන්ති කර්මය පැවැත්වේ.
ප්‍රධාන සැරසිලි අංග
ප්‍රධාන සැරසිලි අංගය වන්නේ මඩු සැරසිලි කිරීම යි. මඩුව තුළ අයිලය හා යහන සකස් කෙරේ.
භාවිත අමුද්‍රව්‍ය/මාධ්‍ය
සැරසිලි සඳහා ස්වාභාවික ද්‍රව්‍ය ම භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. විශේෂයෙන් ම ගොප් කොළ, හබරල කොළ, කෙසෙල් පතුරු ඇසුරෙන් කැටයම් කපා භාවිත කරයි. ගොප් කොළ වියමන් භාවිතයෙන් යහන ඇතිරීම හා පැති වැසීම කරයි. ගොප් කොළ, පොල් මල්, පුවක් මල්, බුලත්, නාකොළ, ආදියෙන් උඩුවියන් සරසනු ඇත. මඩුව සැරසීමේ දී පොල් වලු, තැඹිලි වලු, දෝතලු වලු, ඉඳි වලු, කෙසෙල් කැන්, අන්නාසි ආදිය භාවිත කරයි.
ඡායාරූප
Vesak Image Vesak Image
උඩරට නර්තන සම්ප්‍රදාය
Vesak Image Vesak Image
අයිලය හා යහන
Vesak Image Vesak Image
මඩුව සැරසීම

දෙවොල් මඩුව ශාන්ති කර්මය

ඉතිහාසය
පහතරට නර්තන සම්ප්‍රදායය හා සම්බන්ධ ශාන්ති කර්මයකි. ප්‍රථම දෙවොල් මඩුව පත්තිනි දෙවඟන හා දෙවොල් දෙවියන් මූලික කරගෙන රුවන්වැල්ල ආශ්‍රිතව පැවැත් වූ බව සඳහන් වේ. සේරමාන් රජුගේ හිසේ හටගත් රෝගයක් සුව කිරීම අරමුණු කරගෙන මෙම ශාන්ති කර්මය පැවැත්වූ බව උත්පත්ති කතාව යි. බෝ වන රෝග ආදියෙන් මිදීම, සෞභාග්‍ය ය හා සශ්‍රීකත්වය ළඟා කර ගැනීම පදනම් කර ගෙන මෙම ශාන්තිකර්මය පැවැත්වේ.
ප්‍රධාන සැරසිලි අංග
මෙහිදී ද මඩුව සැරසීම ප්‍රධාන සැරසිලි අංගය යි. මඩුවේ සැරසිලි සඳහා තැඹිලි, පොල්, පුවක්, ඉඳි ආදී විවිධ වලු වර්ග භාවිත වේ. සරල සාම්ප්‍රදායික මෝස්තර කැටයම් සඳහා යොදා ගනී. දේවාභරණ තබන යහන සැරසීම මූලික වශයෙන් සිදු කෙරේ. එමෙන්ම පත්තිනි තොරණ හා දෙවොල් තොරණ ඉදි කිරීම සුවිශේෂ සැරසිලි අංග ය. ගොප් දම්වැල් ආදියෙන් සැරසිලි කළ කාලපන්දම් ගහ මඩුව අසලින් ම පිහිටුවන තවත් අංගයකි.
භාවිත අමුද්‍රව්‍ය/මාධ්‍ය
කෙසෙල් පතුරු හා ගොප් කොළ සැරසිලි සඳහා භාවිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. හබරල කොළ හා විවිධ වර්ණවත් පත්‍ර ද සැරසිලි සඳහා භාවිත කෙරේ. මෙහි දී ද ස්වාභාවික ද්‍රව්‍ය පමණක් භාවිතයට ගැනීම විශේෂ ලක්ෂණයකි.
ඡායාරූප
Vesak Image Vesak Image
මඩුව සැරසීම
Vesak Image Vesak Image
පහතරට නර්තන සම්ප්‍රදායය
Vesak Image Vesak Image
පහතරට නර්තන සම්ප්‍රදායය

පහන් මඩුව ශාන්ති කර්මය

ඉතිහාසය
සබරගමු නර්තන සම්ප්‍රදායය හා සම්බන්ධ ශාන්ති කර්මයකි. මෙහි දී උත්පත්ති කථාව වන්නේ සේරමාන් රජුගේ හිසේ අමාරුව පදනම් කරගෙන මෙම ශාන්තිකර්මය පැවැත්වූ බව යි. ප්‍රථම පහන් මඩුව පැවැත්වූයේ රුවන්වැල්ල ආශ්‍රිත ව පත්තිනි දෙවඟන හා දෙවොල් දෙවියන් මුල් කරගෙන බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් ය.
ප්‍රධාන සැරසිලි අංග
මඩුව සැරසීම ප්‍රධාන ම සැරසිලි කාර්යය ලෙස සැලකේ. මඩුව තුළ යහන හා තොරණ සකස් කෙරේ. පත්තිනි තොරණ හා දෙවොල් තොරණ සුවිශේෂ වේ. විෂ්ණු, කතරගම, සමන්, නාථ යන දෙවිවරුන් සඳහා ද මල් යහන් සකස් කෙරේ. සරල සාම්ප්‍රදායික සැරසිලි ක්‍රම භාවිත වේ.
භාවිත අමුද්‍රව්‍ය/මාධ්‍ය
ගොප් කොළ, හබරල කොළ වැනි ද්‍රව්‍ය බහුල ව භාවිතයට ගැනෙයි. මඩුව සැරසිලි කිරීමේ දී තැඹිලි, පොල් ආදි වලු වර්ග භාවිත කෙරේ. සැරසිලි සඳහා ස්වාභාවික ද්‍රව්‍ය ම භාවිත කිරීම මෙහි දී දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි.
ඡායාරූප
Vesak Image Vesak Image
ගොප් කොළ සැරසිලි
Vesak Image Vesak Image
සබරගමු නර්තන සම්ප්‍රදායය
Vesak Image Vesak Image
යහන හා තොරණ

කුම්බාබිෂේකම් ශාන්ති කර්මය

ඉතිහාසය
කුම්බාබිෂේකම් යනු හින්දු කෝවිල්වල වසර 12 කට වතාවක් පවත්වන ශාන්ති කර්මයකි. මෙය කෝවිලේ දෛනික "තෛමින්තිය" පුජාවලින් බිඳී යන බලය නැවත ශක්තිමත් කිරීම සහ අලුතින් ඉදිකරන ලද කෝවිල් ගොඩනැඟිල්ලට බලය ලබා දීම සඳහා සිදු කෙරේ. මෙය ආදි කාලයේ සිට පැවත එන ශාන්ති කර්මයක් බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වේ.
ප්‍රධාන සැරසිලි අංග
කුම්බාබිෂේකම් චාරිත්‍රය සඳහා කෝවිල තුළ හෝ පිටත “යාග සාලෙ” නමින් හැඳින්වෙන විශේෂ මඩුවක් සකස් කරයි. එය සතර දිශාවට ප්‍රවේශ විය හැකි පරිදි අඹ ලී වලින් ආවරණය කර, සුදු රෙදිවලින් උඩු වියන් බැඳ විචිත්‍ර ලෙස සැරසීමට කටයුතු කරනු ලැබේ.
යාග සාලෙ සැරසීමේදී, ප්‍රධාන දොරටුව මුහුණලා දෙවියන්ගේ වාහනය සංකේතවත් කරන කොඩිය සහ ත්‍රිකෝණාකාර කොඩි වැල් යොදා ගනී. මඩුවේ සැරසිලි සඳහා නෙළුම් මල්, ඕලු මල්, වෘත්ත සහ සම චතුරස්‍ර හැඩ භාවිතා කර, බිම කෝලම් සැරසීම් අඳිති.
භාවිත අමුද්‍රව්‍ය/මාධ්‍ය
යාග සාලෙ සැරසීමේදී අඹ ලී, කෙසෙල් ගස්, පුවක්, උක්, අඹ, ගොප් කොළ, පොල්, පුවක් මල්, මල්වැල්, සහ මල්මාලා වැනි ස්වාභාවික ද්‍රව්‍ය බහුලව භාවිතා කෙරේ. තවද තැඹිලි, නිල්, රතු, කොළ, කහ වැනි දිලිසෙන හා නොවන රෙදි සහ කඩදාසි ද එකතුවේ සුවිශේෂ ලක්ෂණයක් වේ.
ඡායාරූප
Vesak Image Vesak Image
අඹ ලී වලින් ආවරණය කිරීම
Vesak Image Vesak Image
ස්වාභාවික ද්‍රව්‍යවලින් සැරසීම
Vesak Image Vesak Image
මල්වැල් හා කෝලම් සැරසිලි